Rout (සේනාභංගය)

යුද්ධය මට එච්චරම අලුත් දෙයක් නෙවෙයි. මම යුධ පෙරමුණට නොගිය බව ඇත්ත. කොළඹ ඉඳල උනත් යුද්ධයේ ගොදුරක් වෙන්න පුළුවන්නේ. වාසනාවකට හරි අවාසනාවකට හරි යුද්ධයේ ඍජු බලපෑමක් අහුනොවෙන්න මම බේරුනා. දශක ගානක් ගිහින් වුනත් 96 මහා බැංකු බෝම්බය පිපුරුණු දවසේ, නුගේගොඩ බෝම්බෙ, පිටකොටුවේ වගේ එක එක සිද්ධි වුණු වෙලාවේ අපේ වටපිටාවේ තිබුණු කලබල ගතිය තාම මතකයි. 

අවුරුදු 12 -13 කාලේ, ජාතික අනන්‍යතාව ගැන ටිකක් හැඟීම් එන කාලේ වෙනකොට මට තද වුවමනාවක් තිබුනා යුද්ධෙට යන්න; හමුදාවට බැඳෙන්න. ගියත් ගන්නේ නෑ  මේ වගේ ශරීරයක්, ඒත් ඒක වෙනම කතාවක්. කොහොම වුනත් ඒ කාලේ ත්‍රස්තවාදීන්ගෙන් රට බේරගන්න උදාර අරමුණට දායක වෙන්න ලොකු උණක් තිබුනා. අවුරුද්දෙන් අවුරුද්ද අනාගත බලාපොරොත්තු නම් වෙනස් වුනා. එත් රට ගැන තිබුණු කැක්කුම නම් දරුණුවට ඔලුවට වැදිලා තිබුනා. දෙමල මිනිස්සු ඔක්කොම ත්‍රස්තවාදීන් ය; මුණට මුණ හම්බවෙන්න වත් හොඳ නැති කට්ටියක් ය වගේ හැඟීමක් තමයි ඒ දවස් වල මගේ හිතේ තිබ්බේ. 

ඒ හැඟීමට මුලින්ම ගැටීමක් ආවේ සාමාන්‍ය පෙලට ඉංග්‍රීසි සාහිත්‍ය කරපු නිසා. සිංහල සාහිත්‍ය පොතේ මීට සම්බන්ද කිසි දෙයක් තිබුණු බවක් මට මතක නැහැ. 

අපි ඉගෙන ගත්තු නිසදැස් කවි අතර එක කවියක් තිබ්බා. The man he killed by Thomas Hardy (https://poets.org/poem/man-he-killed ) මේ නිසදැස ඉගෙන ගත්තු වෙලේ ඒක මගේ හිතට තදින්ම කා වැදුනා. ඒ වෙනකම් විරුද්ධ පිලේ සටන් කරන්නෙත් මනුස්සයෙක් කියන ආකල්පය මගේ ඇඟේ  තිබුනේ නෑ. ඒ ඉඳන් කියවපු අහපු කවි කතන්දර නිසා මේ යුද්ධය මිනිස්සු මිනිස්සු අතර මරා ගැනීමකට වඩා ගොඩක් වෙනස් දෙයක් කියන දේ මට තේරුම් යන්න පටන් ගත්තා. යුද්ධය නිර්මාණය කරපු අය යුද්ධයට හේතු විදියට මොනවා මවා පෑවත් ඒක ලොකු ලොකු මිනිස්සු අතර තියන දේශපාලනික අරගලයක් ය, අපි රණවිරුවෝ කියන අයත් , ත්‍රස්තවාදියා කියල මරන්න හොයන අයත් මේ ලොකු අයගේ ගේම් එකේ අහිංසක ඉත්තෝ බවත් තේරුම් යනකොට ඇත්තටම මම ඉස්කෝලෙන් එළියටත් ඇවිත් යුද්ධෙත් (නාමිකව) ඉවර වෙලා. 

මේ කාලෙදිම වගේ මගේ එක යාලුවෙක්ගෙන්  මට නන්දා මාලිනීගේ පවනයි, ගුණදාස කපුගේගෙ කම්පන ප්‍රසංගයේ සින්දු ටිකයි අහන්න කියල පොඩි තල්ලුවක් දුන්නා. ඔය අතරේ එක ගීතයක් තිබ්බ මට තෝමස් හාඩී ගේ  නිසදැස මතක් කරවන. 




මම තාමත් ඉඳහිට කල්පනා කරනවා සාහිත්‍යයට මේ නිසදැස කියා නොදුන්නා නම් ඒකට පස්සේ කියවන්න අහන්න ලැබුණු දේවල් නොලැබුණා නම් යුද්ධයෙන් පරාද වෙලා පහුබහින කණ්ඩායම දැක්කම "අපි දින්නාය'' කියල මටත් ලොකු උද්යෝගයකින් ඉන්න තිබුනා නේද කියල. 

" ඉලක්කයට ලක්වන විට රුදු මරණයේ ඉරණම් කරු

 බලව සිතා එක මොහොතක් වරද කිමැයි ඔහුගෙ රුදුරු

 වැටුපට මිනි මරන දනන් නොව ඔබලා මිනිසුනි ගරු

 අයුක්තියේ අණ පිලිපැද කුමටද නුඹ පලදින තරු" 


   "I shot him dead because--
   Because he was my foe,
Just so: my foe of course he was;
   That's clear enough; although
   
  ...
   
   "Yes; quaint and curious war is!
   You shoot a fellow down
You'd treat if met where any bar is,
   Or help to half-a-crown."

Comments

Popular posts from this blog

Perfidy (ද්‍රෝහිකම)

Aureate