Serotinal (ගිම්හානේ අග)
Serotinal වචනයේ තේරුම හොයපු ගමන් මගේ හිතට ආවේ අමරදේවගේ සින්දුවක්. ඒක ලියල තියෙන්නේ මහගම සේකර.
වසන්තයේ මල් පොකුරු නෙළා
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මඟ බලමින් මා සිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා
අහස පොළොව ගිනියම් අව්වේ
ගහකොළ මැලැවෙන ගිම්හානේ
අවසානේ ඔබ ආවා
ඔබ අතැ වූ මල් එකිනෙක පරවී
සුළඟේ විසිරෙනු මා දුටුවා
සුළඟේ විසිරෙන ඒ මල් අතරින්
ඔබගේ රුව මා දුටුවා
ඔබගේ රුව මා දුටුවා
මේ ගීතයේ මඟ බලාගෙන ඉන්න කෙනා වගේම අපිත් සමහර දේවල් සිද්ධ වෙනකම් මඟ බලාගෙන ඉන්නවා. මම හිතන්නේ ඒ මඟ බලන් ඉඳීම ප්‍රේමය උදෙසා වුනාම එකේ බලපෑම හුඟක් ප්‍රබලයි. සැරයි.
මුළු ඇඟම සෞඛ්‍ය සම්පන්නව තිබිල පුංචි නියපොත්තක් කැඩුනාම අපිට එකේ වේදනාව හැර වෙන දෙයක් ගැන අවධානය යොමු කරන්න බැරිවා වගේ ප්‍රේමය වෙනුවෙන් බලන් ඉන්න සමහරක්, ජිවිතේ වෙන මොන ජයග්‍රහණ තිබ්බත් අවධානය දෙන්නේ තමන් වෙනුවෙන් පැමිණිය යුතු ප්‍රේමයට විතරයි. ඒක සමහර වෙලාවකට පිස්සුවක් වගේ. මුළු ජිවිතයම ප්‍රේමය විතරක්ම ද? මන් හිතන්නේ ඒක පුද්ගලයාගෙන් පුද්ගයලයාට වෙනස් අත්දැකීමක්. මේ ගැන නම් තර්ක කරන්න යන එක නුවණට හුරු නැහැ.
මට පෞද්ගලිකව ප්‍රේමය වෙනුවෙන් ගොඩ කාලයක් බලන් ඉන්න වුනේ නැති වුනාට, එහෙම මඟ බලාගෙන ඉන්න ගොඩක් දෙනෙක්ව මම දන්නවා. මම ඒ අය දිහා බලාගෙන ඉඳල තියනවා. ඒ අතරින් සමහර කෙනෙක් පිටතට පෙන්නන්නේ ඔවුන්ට ඒ ගැන තැකීමක් නැහැ වගේ. තවත් කෙනෙක් විවෘතව ඒ ගැන කතා කරනවා. කොහොම වුනත් මම හිතන විදියට ඒ දෙගොල්ලොන්ගේම වේදනාව එක වගේ විසාලයි.
වසන්තය පහුවෙනකම් එහෙම බලාගෙන ඉඳල, ගිම්හානයේත් ඒ ගැනම තැවිල ගිම්හානේ අග දී වේලිලා යන අය; ගිම්හානයේ අග දී බලාපොරොත්තු ඉටු කරගන්න අය අතරේ මාව වඩාත්ම සංවේදී වෙන්නේ වසන්තයෙම බලාපොරොත්තු ඉටු කරගෙන, ඒ වසන්තයේදීම ඒ බලාපොරොත්තුවම කැඩිලා බිඳිලා යන අයව දැක්කාමයි.
ඒ අය අතරින් සමහර කෙනෙක් නැවත බලාපොරොත්තුවක් ඇති කරනොගෙනම අර පරවෙලා ගිය බලාපොරොත්තුවේ මතකයෙන් ජීවත්වෙනවා. එහෙම ජිවත් වෙන්න ඒ අයට තියන ශක්තිය ගැන මට මහා පුදුමයක් දැනෙනවා. මන් හිතන්නේ අනිත් අය එක්ක තර්ක කරන්න අකමැති උනත්, ප්‍රේමය මුළු ජිවිතයමයි කියල පොඩි හැඟීමක් මගේ ඇතුලෙත් තියනවා.
Comments
Post a Comment