Trident (ත්‍රිශුලය)
ත්‍රිශුලය කියපු ගමන් මට මගේ පුංචි කාලේ දාලා හිටපු පංචායුධේ මතක් වුණා. අපරාදේ, අමතක කරලා තිබුණු මතකයක්!
පුංචිම කාලේ මට දාල තිබුණු පන්චායුධේ හරිම හුරුබුහුටියි. එක බොහොම තුනී පොඩි එකක්. පුංචි උනත් රත්තරන්නේ. අම්මයි තාත්තයි අමාරුවෙන් ගන්න ඇත්තේ. මල්ලි ඉපදුනාම ඒක ඉබේම මල්ලිගේ පන්චායුධේ වුණා. ඒක හොඳට තුනී නිසා මල්ලිගෙයි මගෙයි පුංචි දත් පාරවල් ගොඩක් තිබුණා. හැඩේත් ටිකක් වෙනස් වෙලා තිබුනේ.
දත් පාරක් පාරක් ගානේ එකේ තියෙන්නේ අපි දෙන්නගේ පුංචි කාලේ. පස්සේ ටිකක් ලොකු උනාමත් අපි පංචායුධේ අරන් හැඩ බලනවා. එච්චර පුංචි කාලේ අපිට මතක නැති වුනත් ඒක දැක්කම මොකක්දෝ අමුතු මතකයක් මත්වෙලා අමතක වෙලා යනවා.
ඉතින් ඕක අවුරුදු 10ක් 12ක් රත්තරන් බඩු පෙට්ටියේ දාල පරිස්සමට තිබ්බා. ඒ අතරේ ඒකේ මතක ඇත්තටම මතක තියෙන කෙනා අපිට නැතිවුණා. ඒ අතරේ ළඟ නෑයින්ගේ පවුල් වලට අලුත් අය එකතු වුනා.
අපේ ආච්චි උත්තමාවී ඒ අතරේ තීරණය කළා අපිට දාපු පංචායුධයම අලුත් යටත් දාන්න. ඒ ගැන අපෙනුත් අහන්න ඕනෙයි කියල උත්තමාවීට හිතුනේ නැත්තේ ඇයි ද කියල මට අදටත් හිතාගන්න බැහැ. කොහොම කොහොමහරි එදායින් එදා ඒ පංචායුදය නම් අපිට දකින්න ලැබුනේ නැහැ. මොකද ඒක ලැබුණු ළමයත් බෙල්ලේ දාගෙන හිටියේ වෙන කවුරු හරි දුන්න ගනකම රවුම් පංචායුධයක්.
මේක කියවනකොට කවුරු හරි හිතයි අනේ මේ තුනී රත්තරන් කැල්ලකට නේද ලෝභකම් හිතන්නේ කියල. රත්තරන් කිලෝ ගාණකට වැඩිය ඒ පුංචි රත්තරන් කෑල්ල මල්ලිටයි මටයි වටිනවා. ඒක ආයේ දකින්නවත් ලැබෙන්නේ නෑ කියල හිතනකොට පපුව ඇතුලෙන් පොඩි කරනවා වගේ හැඟීමක් දැනෙනවා.
ඒක ටිකක් මෙන්න මේ වගේ. මීට තුනියි. වටේට ළමා සරියේ රැලි වගේ රැලි තිබුණා |
Comments
Post a Comment