Vicinage ( අහල පහල )
මේක කියවන ගමන් හිතන්න එපා මේක ලියන මං මේලෝක සතෙක් එක්ක වසන්න බැරි උන්දෑ කෙනෙක් කියල. හැබැයි ඉතින් එහෙමයි කියල හිතා ගත්තත් ඒක ලොකු බොරුවකුත් නෙවෙයි.
අපි සාමාන්‍යයෙන් හිතන්නේ අපේ සමාජේ බොහොම එකිනෙකාට උදව් කරගන්න කැමති සාමුහිකව ජීවත් වෙන කොටසක් විදියට නේ. අපි ඒ ගැන බොහොම ආඩම්බරෙන් කතා කරනවා. තාත්තා කියන එයාගේ පුංචි කාලේ කතා වල මිනිස්සු ගමක් විදියට එකතු වෙලා වැඩ කරපු දේවල් ගැන ගොඩක් විස්තර තියනවා. ආච්චිලාගේ කතාවල විස්තර ඊට බොහොම වැඩියි. මගේ පුංචි කාලේ ගැන මට කියන්න එහෙම කතා නැහැ. ගමේ ඉන්න මිනිස්සුගෙන් බාගයක් දෙනාව මං අඳුනන්නෙත් නැහැ. ඒගොල්ලෝ කාගේ කවුද කරන්නේ මොනවද කියන එක මට එච්චර වැදගත් දේවලුත් නෙවෙයි. මං ගොඩක් පුංචි කාලේ ගමේ මිනිස්සු මීට වඩා කිව්වෙන් හිටියා වගේ මතයකක් මට තියනවා. සමහර විට ඒ අපිට වඩා පරම්පරා දෙකක් විතර උඩින් හිටි අය ජිවත් වෙලා හිටපු නිසා වෙන්න ඇති. ඒ අයගෙන් ඉතුරු වෙලා ඉන්න ටික දෙනාත් දැන් ටික ටික දකින්න නැතුව යනවා. ඉඳල හිටලා සුදු පෝස්ටරේක මම ඒගොල්ලොන්ගේ මූණු දකිනවා.
අපි එකට එකතු නොවී තාප්පයක් ඇතුලට කොටුවෙන්න පටන් ගත්තු දවස ගැන මට හරියටම කියන්න බැහැ. මම හිටන්නේ ඒක පියවරෙන් පියවර වුනු දෙයක්. මට මතක කාලේ මුලින් අපිට තාප්පයක් තිබුනේ නැහැ. තිබුනේ වැටක්. වැට කොට තාප්පයක් වුණා. කොට තාප්පේ උස තාප්පයක් වුණා. ඕනේ කෙනෙක්ට අත දාල අරින්න පුළුවන් ගේට්ටුව ඇතුලෙන් විතරක් අරින්න පුළුවන් ගේට්ටුවක් වුණා. දැන් ඒක ඕනේ වෙලාවක ඉබ්බා දාපු ගේට්ටුවක් වෙලා. තව ඉස්සරහට තවත් උස, හයිය වැඩි ගේට්ටුවක් දාන්නයි අපි මේ දවස් වල කල්පනා කරන්නේ.
මේ විදියට වෙනස් වෙන්න හේතුව එකක් කියල අඳුනගන්න අමාරුයි. ඒත් මේ පියවරෙන් පියවර වුනු වෙනස්කම් වලට එක එක පොඩි පොඩි හේතු තිබුණා. එකක් තමයි අහල පහල ඉන්න අය තවදුරත් අපේ ආරක්ෂාව ගැන තැකීමක් නැහැ කියල තේරුණු එක. තවත් එකක් මිනිස්සු අපේ හොඳ හිතින් ඕනාවට වඩා ප්‍රයෝජන අරන් අපිට අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙච්ච එක.
බුද්ධ දර්ශනයේ අපි කතාකරනවනේ පතිරූප දේශයක් ගැන. සුදුසු දේශයක වාසය. දේශය සුදුසු නැත්නම්, වෙනත් දේශයකට යන්නත් බැරිනම් ඒ ගැන දුක් නොවී අතපය අකුළුවන් පැත්තකින් ඉන්න එක නේද වඩාත් සුදුසුම?
Comments
Post a Comment