Lodestone (කාන්දම් ගල්)
Lodestone. සිංහලෙන් කාන්දම් ගල.
කාන්දම් ගල් කියපු ගමන් මතක් වෙන්නේ කාගේ හරි ඇස්.අපි කවුරු හරි මුණ ගැහුණම පොඩි හරි සම්බන්දතාවක් ගොඩනගා ගන්න අවශ්‍ය නම් අනිත් කෙනාගේ ඇස් දිහා අනිවාර්යයෙන්ම බලනවා. වචන පාවිච්චි කළා නොකලා අදාළ නෑ, ඇස් වලින් ගොඩක් දේවල් කතා කරන්න අපිට පුදුමාකාර හැකියාවක් තියනවා.
ඊළඟට මතක් වෙන්නේ කොහෙහරි කවුරු හරි ලියපු බොළඳ ආදර කතාවක්.
කොල්ලෙක් කෙල්ලෙක්ව පලවෙනි පාරට දකිනවා. අන්න එතනට කාන්දම් ගල් අදාළ වෙනවා. කොල්ලගෙයි කෙල්ලගෙයි ඇස් දෙක පලවෙනි පාරට මුණ ගැහුණම ඉතින් එක්කෙනෙක්ට අනිත් එක්කෙනාගේ ඇස් කාන්දම් ගල් වගේ. පුදුම ආකර්ෂණයක් දැනෙන්නේ. එතනින් එහාට කතාව කොහොම කොහොම හරි ලියවෙයි.
කොල්ලෝ කෙල්ලෝ විතරක් නෙවේ ඕනෙම මනුස්සයෙක්ට තවත් මනුස්සයකුගේ ඇස් වලට ආකර්ෂණයක් දැනෙන්න පුළුවන්. ඒක රෝමාන්තික ආකර්ශනයක් හරි, එච්චර චමත්කාරයක් නැති රෝමාන්තික නැති නිකම්ම ආකාශනයක් වුනත් වෙන්න පුළුවන්. කැමති නම් ලිංගික / අලිංගික වචන දාගන්න. ගැලපෙන විදියට.
ඇත්තටම ඇයි අපි තව කෙනෙකුට ආකර්ෂණය වෙන්නේ. එක එක්කෙනා එක එක කතා කිව්වත් මට නම් ඒක විසඳගන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ටික කාලයක් දන්නා අදුනන කෙනෙක්ට නම් කැමති වෙන/අකමැති වෙන එකට විවිධ හේතු අපිට හොයාගන්න පුළුවන්.
"එයා හරි කරුණාවන්තයි."
"එයා හරි ලස්සනවා කතා කරනවා, කරුණු පැහැදිලි කරනවා"
"එයාගේ වැඩ හරි පිළිවෙලයි."
"හොඳ අවබෝධයක් තියන කෙනෙක්"
"එයා හරි ෆන්"
ඔය වගේ සීයක් දාහක් හේතු හොයාගන්න පුළුවන්. ඒත් පලවෙනි පාරට දකින මුණගැහෙන කෙනෙක්ට ආකර්ෂණයක්, කැමැත්තක් දැනෙන්න හේතු මොනවද. ලස්සනද? පිළිවෙල ද? පෙනුමද? එහෙමත් නැත්නම් කාන්දම් ගලක් තව දෙයක් ආකර්ෂණ කරගන්න එකට පැහැදිලි හේතුවක් හොයාගන්න බැරි වගේ අපේ බුද්ධියට මැන ගන්න බැරි දෙයක් ද?
මිනිස්සුන්ගේ ඇතුලෙත් එක එක්කෙනාට ආකර්ෂණය වෙන්න පුළුවන් කාන්දම් ගලක් වගේ දෙයක් තියනවද? ඒක අපේ හිතද? මොළේද? හදවතද?
මට අකාර්ශයක් දැනෙන කොට අනිත් කෙනාටත් ඒවගේම දෙයක් දැනෙනවද? එහෙම දැනෙන්නේ නැත්තේ එයාගේ කාන්දම් ගල ඩෑමේජ් ද?
මට ආකර්ෂණ වෙලා මගේ කාන්දම් බල සංඛ්‍යාතයට අහු නොවුණු කවුරු හරි ඉන්නවාද? මම යාලුවෙක් උනානම් හරි මා එක්ක හිතවත් වෙන්න තිබුනානම් හරි හොඳයිකියල හිතෙන කෙනෙක්? මම දන්නවා මට නම් එහෙම දැනුනු අවස්ථා ගොඩක් තියනවා. ඒ කාන්දම් ගල් ගොඩක් වෙලාවට කාලෙත් එක්ක ගෙවිල යනවා.
කාන්දම් ගල් මොන හේතුවකට ලෝහ කෑලි අද්දව ගන්න හරි හේතුව කවද හරි කවුරු හරි හොයාගනිවී. කල්ප විනාසේ එනකොටත් එක එක්කෙනාට ආකර්ෂණය වෙන හරිම හේතුව නම් අපි හොයාගෙන තියන එකක් නැති වේවි.
Comments
Post a Comment